Saturday, 12 December 2015

අමාවක සඳ - 1 කොටස


ජනෙල් වීදුරුව තුලින් ඈත බලද්දී අඳුර මුලු පරිසරයම ගිලගෙන ඇති බව දකින්නට තිබුනු අතර මා දෑස පියාගෙන බොහෝ වේලාවක් ගත වී ඇති බව ඉන් මට දැනුනි.නිවාඩු දිනයන්හිදි මුලු ලෝකයාගෙන්ම ඈත් වී භාවනා කිරිම මගේ ප්‍රියතම කටයුත්ත වු අතර දවස ගතවනවා නොදැනෙන්න තරම් මා එයට ඇබ්බැහි වී තිබුනි.

"පුතේ තේ එකක් හදන්නද?"
සිරියා සිනහවෙමින් උලුවස්සට හේත්තු වී ඇසුවාය.
"හා හදන්නකෝ..ම්ම්ම් ඉඟුරු දාලා හොද ප්ලේන්ටියක්"
මම පැදුර අකුලමින් කිවෙමි.

මේ නිවසේ මගේ ප්‍රියතම ස්ථානය වන මෙම කාමරයට අඩිය තබන සැනින් ඕනෑම කෙනෙකුගේ සිත නිවි යයි.කාමරය මැද්දේ කලු ගලින් කල විශාල බුද්ධ ප්‍රතිමාවකි.ප්‍රතිමාව ඉදිරිපිට කලු ගලින් කල ආසනය මල් හඳුන් කුරු ඇතුලු පුජාවන් තැබිමට සකසන ලද්දකි.හදුන්කුරු සුවදින් මුලු කාමරයම පිරි ගොසින් තිබුනි.ඒ සුවඳට කුඩා කාලයේ පටන් මා ඇලුම් කරන බව සිරියා පවා දන්නා නිසා ඒ හඳුන්කුරු පෙට්ටිය ඉවර වන්නටත් පෙර අලුත් පෙට්ටියක් ගෙනත් තබයි.
අවුරුදු කිහිපයකට පෙර මට සහයට ගැහැණියක් සෙවිමේදි සිරියා මට හමු වුවද අම්මා කෙනෙකු මෙන් තමාව ආරක්ෂා කරන අයුරු කුස්සියට යන ගමන් මම කල්පනා කලෙමි.

"චොක්ලට් කේක් තියනවා.කාලම තේ බොනවාද?"
මම හා කියන්නට හිස වැනුවෙමි.
මගේ කැමති දේ මෙන්ම අකමැති දේද සිරියා හොදින් හඳුනයි.
"හෙට ඩොක්ටර් හම්බවෙන දවස නේද පුතේ?"
සිරියා සෑමවිටම මගේ කටයුතු වලදිද සහය දුන්නාය.
"ඔව්.හෙට ඩොක්ටර් වසන්ති නෑ.එයා වෙනුවට වෙන කෙනෙක් ඉන්නේ.කවුද දන්නේ නෑ.හැබැයි ඉතින් ඩොක්ටර් වසන්ති නරක කෙනෙක් ලඟට මාව කියටවත් යවන්නේ නෑ."
"ඩොක්ටර් වසන්ති ඇයි නැත්තේ?"
"රට ගිහින් අම්මේ"
සිරියා මට ආදරෙන් පුතේ කියා අමතන බැවින් කාලයත් සමඟ මම ද ඇයට අම්මා කියන්නට පුරුදු වුයෙමි.

"රෑට මොනවද කන්නේ?"
මම හිඳ සිටි පුටුවෙන් නැගිටින ගමන් ඇසුවෙමි.
"මොනවද කන්න ආස?"
"ඉඳිආප්ප.චිකන් හොද්දකුත් ඕනි."මගේ ඇස් දිලිසෙන ගමන් මම කිවෙමි.
"පුතාගේ නංගිත් ආසයි."
නංගිව මතක් වු සැනින් සිරියාගේ ඇස්වල කඳුලුය.
"අඩන්න එපා ඉතින්..ම්ම් අපි හදලා ගිහින් දෙමුකෝ ලඟදිම.."

Friday, 13 November 2015

නැලවිලි ගීතය


ඇස් නිලංකාර වෙනවත් එක්කම මුලු ඇඟටම සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා.ජිවිතේ කවමදාකවත් දැනුනේ නැති සැහැල්ලුවක්.පියවිලා සුදු එලියක අතරමං වෙලා තිබුනු මගේ ඇස් ඇහැරුණා...දෙයියනේ!!!! මගේ කට ගොලු වුනා.මගේ ඇස් ඉස්සරහ නිමේෂා තුවාල වෙලා වැටිලා හිටියා.නිමේෂා හිටියේ ලේ විලක් මැද්දේ.මං කරගන්න දෙයක් නැතුව වටපිට බලද්දි යකඩ ඇඳක් උස්සගත්තු පිරිමි දෙන්නෙක් එයා ලඟට ආවා.ඇති යන්තම්...මට සැනසුම් සුසුම් හෙලුනා.පොලිසියෙනුත් ඇවිත්..මට අන්තිමට මතක අපි ආපු වැන් එක ලොරියක හැප්පෙනවා විතරයි.ඒත් නිමේෂා හිටියේ මං ලඟමනේ.මං හෙමින් මගේ ඇඟ දිහා බැලුවා.මටම පුදුමයි.හිරිලාවත් නෑ.මගේ හොදම යාලුවා නිමේෂා.එයාව සුදු වැන් එකට දාගන්නවා මං දැක්කා.ඉස්පිරිතාලෙන් වගේ.මාත් දුවලා ගිහින් නිමේෂා ලඟින්ම වාහනේට නැගගත්තා.නිමේෂාට සිහිය නෑ.ඇතුලේ හිටපු අය සේලයින් බට ගහනවා,ඉන්ජෙක්ෂන් ගහනවා.මට නම් බලන් ඉන්න බෑ.එක්කෙනෙක්වත් මං දිහා හැරිලාවත් බැලුවේ නෑ.ඔක්කොම කඩියෝ වගේ වැඩ.අයියෝ... වැන් එකේ අංකල්?එයාව දැක්කෙත් නැ...එයාට කොහොමද දන්නේ නෑ..හොස්පිට්ල් එකට ගෙනියයිනේ...මගේ හිත තවත් බය වෙලා.

පැය භාගයකට විතර පස්සේ හොස්පිට්ල් එකට ආවා.මං අයිනෙම හිටපු නිසා ඉක්මනටම බැස්සා.නිමේෂාව ඉක්මනටම ඇතුලට අරන් ගියා.මමත් පස්සෙන් දිව්වා.ඩොක්ටර් ඇවිත් ඉක්මනට නිමේෂාව ඔපරේෂන් එකට ගන්න කිව්වා.බයේ බෑ..මං තනියම මොනවා කරන්නද?කෝල් එකක් ගන්නවත් ෆෝන් එක ලග නෑ..ඇක්සිඩන්ට් වෙච්ච තැන වැටෙන්න ඇති.. අපරාදේ..මං මටම බැනගත්තා.ඔය අස්සේ පුරුදු කටහඩක් මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා.ඔව් දෙයියෝ...!!!ඒ අම්මා.තාත්තාත් ඇවිත්.මෙච්චර ඉක්මනට දැනගත්තේ කොහොමද?පොලිසියෙන් කියන්න ඇති.මං අම්මා ලඟට දිව්වා.අම්මේ නිමේෂා...ඒ වචන දෙකත් එක්කම මට ඇඩුනා.ඒත් එක්කම නර්ස් කෙනෙක් ආවා.ඔගොල්ලො සුරඟනාගේ අම්මලාද?නර්ස් අහනවා.
තාත්තා දුකෙන් ඔලුව වැනුවා."එන්න..ඔගොල්ලන්ගේ පේෂන්ට් මේ පැත්තේ.තාම සිහිය නෑ.ලොකු තුවාල නෑ.ඩොක්ටර් තාම මුකුත් කිව්වෙත් නෑ.එන්නකෝ." නර්ස් යනගමන් කියවනවා."මේ වැන් එකේ අංකල් ගැන නේද කියන්නේ මිස්?"මං ඇහුවා.නර්ස් ඇහුනේ නෑ වගේ යනවා.මට හොදටම කේන්ති.එතකොටම එක තැනක විදුරු දොරක් නර්ස් ඇරියා."මෙතන ඇතුලේ ඔගොල්ලන්ගේ පේෂන්ට් ඉන්නවා" නර්ස් එහෙම කියලා යන්න ගියා.අම්මගෙයි, තාත්තගෙයි පස්සෙන් මාත් ඒ කාමරේ ඇතුලට ගියා.බුදු හාමුදුරුවනේ..මේ මොකද්ද ? මාව තෝන්තු වෙලා යනවා වගේ මට දැනුනා.ඇඳ උඩ හිටියේ මමමයි.අම්මා මාව දැක්ක ගමන් හොදටම අඩන්න පටන් ගත්තා.තාත්තා මගේ ඔලුව අතගානවා.අම්මේ මං ඉන්නවා..මේ බලන්නකෝ තාත්තේ ...මං දිහා බලන්නකෝ..මං කෑගැහුවා.කාටවත් මාව ඇහුනේ නෑ.එතකොටම ඒ කාමරේ ඇතුලට ඩොක්ටර් ආවා."මිස්ටර් සමරනායක වෙන්න ඕන මේ?"ඩොක්ටර් අහනවා.තාත්තා කදුලු පිහින ගමන් ඔලුව වැනුවා."වෑන් එකේ ඩ්‍රයිවර්, නිමේෂා දෙන්නම දැන් හොදින්..ඒත් සුරඟනාගේ ඇගේ සිරිම් වගේ සුලු තුවාල කිහිපයක් විතරයි තියෙන්නේ.හැබැයි ඔලුව තදින් වැදිලා තියනවා.ඒ නිසා සිහිය නෑ.ඉදිරි පැය කිහිපය තුල සිහිය නාවොත් මේක කොමා තත්වයක් විදියට තමයි සලකන්න වෙන්නේ.අපි උපරිම උත්සහ දරමු."ඩොක්ටර් කියවගෙන යනවා.කොමා?මට? මට මං ගැනම දැනුනේ ආත්මානුකම්පාවක්..අසරණ බවක්..කාට කියන්නද?
කොහොමහරි මට සිහිය ආවේ නෑ.නැදැයෝ යාලුවෝ තරහකාරයොත් මාව බලන්න ආවා..මාත් දවස් ගනන් මගේ ඇඟ දිහා ඔහේ බලාගෙන හිටියා."මේ ලෝකේ කිසිදෙයක් ස්ථිර නෑ."ඉස්සර විහඟ කියනවා මට මතක් වුනා.ඒත් එක්කම කාමරේ දොර ඇරුනා.දෙයියනේ!!!විහඟ...කොච්චර කාලෙකින්ද?විහඟ ලංකාවෙන් ගියාට පස්සේ දැක්කමයි.ඔන්න ඒ පාර එයත් අඬනවා..අම්මා වගෙමයි.ඒකනේ මං ආදරෙත්..මටම හිනා ගියා..

කවුරු ආවත් නාවත් අම්මා,තාත්තා,විහඟ හැමදාම මාව බලන්න ආවා.මාත් එක්ක කථා කලා.ඒ ආදරේ හැමදාම වගේ අඩුවක් තිබුනේ නෑ.මට බේත් කරන්න ඒගොල්ලො ගොඩක් උත්සහ කලා.ඒ කිසිදෙයක් හරි ගියෙත් නෑ.ඒත් දවසක්...අම්මා ඇවිත් මං ලඟ ගොඩක් වෙලා හිටියා.අම්මාට ලස්සනට සින්දු කියන්න පුලුවන්.මට ඇහෙන්න සින්දුවක් කියන්න වගේ යන්නේ.ආසාවෙන් මං අහන්න බලාගෙන හිටියා."වස්තුව මෙන්න චුටි කාලේ ඉඳන් ඔයා ආසම සින්දුව"අම්මා මාව අතගාන ගමන් කියනවා.හොරෙන් හොරෙන් විහඟත් ඇවිත් මං දොර අස්සෙන් දැක්කා.

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් දු සතපන්නට ගීත ගයනවලු....
දුවේ එපා ඒ කතා අහන්නට...
මේ නැලවිලි ගී මමයි කියන්නේ...

අම්මාගේ ගීතය කන් දෙකේ දෝංකාර දෙනවාත් එක්කම සුදු එලියකින් ඇස් නිලංකාර වන්නට පටන් ගත්තා...
ඇස් ඇරෙන විට මුලින්ම බොඳ වී පෙනුනු අතර ඩොක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් අම්මාත් විහඟත් මට පෙනිනි.අම්ම්ම්..මේ මං කොහෙද? හිමින් ඇසිමි."අන්තිමේදි සුරංගනාවන්ගේ නෙමේ අම්මගේ නැලවිලි ගියයි අහලා තියෙන්නේ.."විහඟ කියනවා යන්තමින් ඇසුනි.

Friday, 6 November 2015

ආරම්භය


අද නම් අව්ව පායපු ලස්සන දවසක්.සෙනසුරාදා දවස සෙනසුරාගේ කියලා කිව්වාට මම ඔන්න බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අද.මේ ලියන දෙවල් කියවන සියලු දෙනාගේම රසවින්දනයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කලා එහෙනම්....